තුර්කි භූමිකම්පාවෙන් මිය ගිය සංඛ්‍යාව විසිදහස ඉක්මවා යා හැකි බවට පුරෝකතනයක්

තුර්කියට සහ සිරියාවට බලපෑ රික්ටර් මාපාංක 7.8ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයෙන් මේ වන විට මිය ගිය පිරිස 7000 ඉක්මවා 26,000 පිරිසක් තුවාල ඇති බවත් එම සංඛ්‍යා තවදුරටත් ඉහළ යමින් පවතීන බව නවතම විදෙස් මාධ්‍ය වාර්තා කළේය

භූ කම්පනයෙන් සිදුවූ මරණ 20,000 ඉක්මවනු ඇති බව පුරෝකතනය කරන ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පවසන්නේ ඉන් දෙරටේ මිලියන 23ක ජනතාවට බලපෑම් එල්ල වී ඇති බවය.

ඉන් තුර්කියේ සහ සිරියාවේ ගොඩනැගිලි 6,000ක් විනාශ වී තිබූ අතර දේශසීමාවේ ඇතැම් නගර මුළුමනින්ම පාහේ සුන්බුන් වී ඇතැයි දෙරටේ ආපදා කළමනාකරණ අංශ පවසයි.

භූ කම්පනයෙන් පසු සුන්බුන් අතර සිරවූ පිරිස් සොයා ක්‍රියාත්මක මෙහෙයුම් දෙරටේම තවදුරටත් ක්‍රියාත්මකය.

සිරියානු සිවිල් යුද්ධයෙන් බැට කෑ සරණාගතයින් මිලියන ගණනක් රැඳීසිටින උතුරුදිග සිරියාවේ ඇලැප්පෝ නගරයට ද භූ කම්පනයෙන් බරපතළ හානි සිදුව තිබේ.

ප්‍රධාන භූ කම්පනයෙන් පසු තුර්කියේ දැනට සිදුවී ඇති මැග්නිටියුඩ් 4ට වැඩි පසු කම්පන සංඛ්‍යාව 120 ඉක්මවයි.

උද්ගත වූ තත්ත්වය හමුවේ තුර්කි ජනාධිපතිවරයා විසින් එරට ගිනිකොණ දිග කලාපයට අද සිට මාස තුනක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරනු ලැබු අතර තුර්කියට දින හතක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

Leave a Reply