තිහගොඩදී හිසට වෙඩි වැදුණු ළමයාගේ ජීවිතය බේරාගත් කරාපිටිය රෝහල

ඉකුත් ඔක්තෝබර් 28 දින හිසට වෙඩි තබා බරපතළ තුවාල සිදුකරන ලද පාසල් සිසුවාගේ ජීවිතය සැත්කම් පහකින් පසු බේරා ගැනීමට හැකිවූ බව කරාපිටිය රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා හර්ෂණී ඔබේසේකර පැවැසුවාය.

මාතර තිහගොඩ, නායිම්බල පදිංචි හර්ෂ හංසක දේශාන් සිසුවා නායිම්බල මහ විදුහලේ 10 ශ්‍රේණීයේ ඉගෙනුම ලබමින් සිටියදී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා තිබිණි.

දින විස්සකට පමණ පසු කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිට ස්නායු ශල්‍ය වෛද්‍ය වාට්ටුවට මාරු කර ඇති සිසුවාගේ තත්ත්වය සම්බන්ධයෙන් රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය  විශේෂඥ යොහාන් කෝරලගේ මහතා මෙසේ පැවැසීය.

“විශාල සමාජ කැලඹීමකට ලක්වුණු සිද්ධියක් මේක. ළමයා කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු ශල්‍යකර්ම පහක්ම කළා. ළමයාගේ හිසට බරපතල තුවාල සිදුවීම නිසා අධික ලෙස රුධිරය වහනය වී තිබුණා. එ නිසා ලේ පයින්ට් විශාල ප්‍රමාණයක් දීමට අපට සිදු වුණා.”

“ළමයාගේ මොළයට හානි වී තිබුණා. නමුත් දිවා රාත්‍රි නොබලා මොළයට ශල්‍යකර්ම කිහිපයක්ම කිරීම නිසා මොළය බේරා ගන්න පුළුවන් වුණා. ඔළුව තුවාල වෙලා තිබුණු නිසා මොළයට විසබීජ ඇතුළුවීමේ තත්ත්වය වළක්වා ගත්තා.

ශ්වසන ආධාරක පාවිච්චි කරල තමයි සියලුම ශල්‍යකර්ම සිදු කළේ. දැන් මොළයේ ක්‍රියාකාරිත්වය ඇවිල්ලා. එනිසා ළමයා වාට්ටුවට මාරු කළා. කරාපිටිය රෝහල් කාර්ය මණ්ඩලයේ දැඩි කැපවීමෙන් අපිට මේ ළමයාගේ ජීවිතය බේරාගන්න හැකිවුණා.

“මේ ළමයාගේ ජීවිතය බේරා ගැනීමට සියලුම කාර්ය මණ්ඩල දිවා රාත්‍රි නොබලා දැඩි කැපවීමෙන් කටුයුතු කළා. මේ කටයුතු සියල්ලම කළේ දැඩි අපහසුතා මැදයි. රෝහලේ ප්‍රතිජීවක ඖෂධ වගේම වෛද්‍ය උපකරණවල හිඟයක් තිබෙනවා. නමුත් ළමයා අපි බේරා ගත්තා. මෙතරම් අපහසුතා මැද ළමයාගේ ජීවිතය බේරා ගැනීමට හැකිවීම ගැන සතුටු වෙනවා.”

දේශාන්ගේ ඇඳ අසල සිටින ඔහුගේ අයියා වන තිසර මෙසේ කීය.

වෙඩි වැදිලා හිටිය වේලාවේ මාතර රෝහලෙන් මල්ලි සනීප කරන්න බැහැ කියලා කිව්වත් කරාපිටිය රෝහලේ දෙවිවරු නිසා මල්ලි බේර ගන්න හැකි වුණා. විශේෂයෙන්ම මේ විශේෂඥ ‍දොස්තර මහත්වරු දැඩි සත්කාර ඒකකයෙත් මෙම වාට්ටුවෙත් ‍දොස්තර මහත්වරු වගේම හැමදෙනාමත් එක වගේ කැප වෙලා අවශ්‍ය කටයුතු කළ නිසා මල්ලි බේරා ගැනීමට පුළුවන් වුණා.

මල්ලි දැන් වාට්ටුවට ඇතුළත් කරලා. මම ළඟ ඉන්නවා. අඩුපාඩු රැසක් මැද මල්ලිගේ ජීවිතය බේරාදුන් කරාපිටිය රෝහලේ වි‍ශේෂඥ ‍දොස්තර යොහාන් සර්ගේ සිට සියලුම දෙනාට අපේ පවුලේ නමස්කාර ස්තුතිය පුද කරනවා.

Leave a Reply