ත්‍රිවිලර් උස්සා චැසි අංක වෙනස් කොට විකුණන කල්ලියක් අල්ලයි

ත්‍රීරෝද රථ පැහැරගෙන චැසී අංක, වර්ණ වෙනස් කර දිවයිනේ විවිධ ප්‍රදේශවලට අලෙවි කල සිවුදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අත්අඩංගුවට ගත් බව මහබාගේ පොලිසිය පවසයි.

මාර්ගය අසල හෝ කඩපිලක නවතා යන ත්‍රිරෝද රථ දෙස අවධානයෙන් සිට රියැදුරු එම ස්ථානයෙන් නික්ම ගිය සැණින් එම ත්‍රිරෝද රථය ව්‍යාජ යතුරකින් පණගන්වා පැහැරගෙන ගොස් මෙම සොරකම සිදුකර තිබේ

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලින් සොරාගන්නා ලද ත්‍රිරෝද රථ රක්ෂණ සමාගම්වලින් ලබාගත් අනතුරුවලට ලක් වූ භාවිතයෙන් ඉවත් කරන ලද ත්‍රිරෝද රථවල ලියකියවිලිවලට අනුව ව්‍යාජ අන්දමින් සකස් කර අලෙවි කරමින් කලක පටන් ඔවුන් මෙම ජාවාරමේ නිරතව සිට ඇත.

මෙලෙස ව්‍යාජ අන්දමින් සකස් කළ ත්‍රිරෝද රථ ත්‍රිකුණාමලය, දැරණියගල වැනි දුර පළාත්වලට ද කොළඹට ආසන්න නගර වන ජාඇළ, මරදාන යන ප්‍රදේශවලට ද අලෙවි කර තිබියදී සැකකරුවන්ගේ ප්‍රකාශ අනුව පොලිසිය සිදු කළ විමර්ශනවලදී සොයාගෙන ඇත.

අත්අඩංගුවට පත් සැකකරුවන් සිවුදෙනා වයස අවුරුදු 40-45 කාණ්ඩවලට අයත් වන බවත් ඔවුන් මෙතෙක් සොරකම් කර ඇති ත්‍රිරෝද රථවලින් 9ක් පොලිසිය විසින් දැනට සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.

සැකකරුවන් ඉකුත් 20 වැනිදා වත්තල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එන්ජින් අංක සහ චැසි අංක වෙනස් කිරීමේ යෙදුණු දෙදෙනෙකු රිමාන්ඩ් භාරයට පත්කර ඇති අතර, සොරකමේ යෙදුණු දෙදෙනා සතියක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන බවද පොලිසිය පවසයි.

Leave a Reply