තලවකැලේ වතුයායේ නිවාස පේළියක ගින්නකින් නිවාස රැසක් විනාශයි

නුවරඑළිය, තලවකැලේ ප්‍රදේශයේ වතුයායක වතු නිවාස පේළියක ඊයේ (15) රාත්‍රියේ හටගත් ගින්නකින් වතු නිවාස 12ක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී පවුල් 12කට අයත් සාමාජිකයන් 47දෙනෙකු අවතැන් වී ඇති බව තලවකැලේ පොලීසිය පවසයි.

ඊයේ රාත්‍රි තලවකැලේ මිඩ්ලන්ඩ් වතුයායේ කොටසක පිහිටි එක් නිවසකින් හටගත් ගින්න සෙසු නිවාසවලට පැතිර ගිය බවත් ගින්න හටගන්නා අවස්ථාවේ එම වතු නිවාසවල පදිංචිකරුවන් විශාල පිරිසක් එම වතුයායේ පැවති තෛපොංගල් දින උත්සවයකට සහභාගි වීමට ගොස් සිටි නිසා ගින්නෙන් කිසිවෙකුට තුවාල සිදු වී නොමැති බව පොලිසිය පවසයි.

පැතිර යමින් තිබු ගින්න එම වතුයායේම වතු කම්කරුවන් හා තලවකැලේ පොලීසිය එක්ව දැඩි පරිශ්‍රමයක් දරා පාලනය කිරීමට සමත්ව තිබේ.

ගින්නෙන් වතු නිවාසවල පදිංචි වතු කම්කරුවන්ගේ පෞද්ගලික බඩු බාහිරාදිය සහ නිවාසවල පදිංචිව සිටි ළමුන්ගේ පාසල් පොත්පත් සහ උපකරණ සම්පුර්ණයෙන්ම විනාශ වී ඇත.

ගින්නට හේතුව විදුලි කාන්දුවීමක් බවට සැකකරන බවත් ගින්න සම්බන්ධයෙන් පොලිසියන් පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *