තරුණ මවකට බරපතළ සමූහ ලිංගික අපරාධ කල තිදෙනකු රිමාන්ඩ්

පූගොඩ, පැපිලියවල ප්‍රදේශයේ නිවෙසක බිලිඳෙකුට කිරි දෙමින් සිටි තරුණ මවකගෙන් බිළිඳා උදුරා ප්‍රාණ ඇපයට තබාගෙන එම මව බරපතළ සමූහ ලිංගික අපයෝජනයකට ලක් කළ තරුණයන් තිදෙනකුගෙන් දෙදෙනකු පූගොඩ පොලිසිය විසින් පෙරේදා (25දා) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මෙම 23 හැවිරිදි මව අපයෝජනය කළ තැනැත්තන් තිදෙනා අවුරුද්දයි මාස 4ක් වයසැති දරුවා පොළවේ ගසා මරා දමන බවට තර්ජනය කර බිය ගන්වා ඇයට අතවර කර ඇතැයි පූගොඩ පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් අතවරයට පත් කාන්තාව පදිංචි නිවෙස අසලම පදිංචි 21, 22 හා 23 හැවිරිදි සැකකාර තරුණයන් තිදෙනකු වන අතර ඔවුන් අතරින් 21 හා 23 හැවිරිදි දෙදෙනා මෙසේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර තිබේ.

අනෙක් 22 හැවිරිදි සැකකරු සොයා පරීක්‍ෂණ අරඹා ඇතැයි පූගොඩ පොලිසිය පවසයි.

වින්දිත කාන්තාව ගම්පහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කළ බවද පොලිසිය පවසයි.

මෙම කාන්තාව ඇගේ සැමියා, සිඟිති දියණිය හා තම මව සමඟ පදිංචිව සිටින අතර සැමියා වෙළෙන්දාම සඳහාද මව කුලී වැඩ සඳහාද දිනපතා නිවෙසින් පිටව යන බව ඇය ඉකුත් 24දා පොලිසියට පැමිණිල්ලක් කරමින් පවසා තිබේ.

දිවා කාලයේ ඇය සිඟිති දියණිය සමඟ නිවෙසේ සිටින බවත් දිවා කාලයේ අසල නිවෙසක කුලියට සිටින තරුණයන් දෙදෙනෙකු තමන් හමුවීමට අවශ්‍ය බව දුරකථන ඇමතුමකින් පැවැසූ අතර තමන් ඊට විරුද්ධ වූ බවද ඇගේ පැමිණිල්ලේ සඳහන් වේ.

ඉකුත් 22 වැනිදා සවස ඇය දරුවාට කිරිදෙමින් සිටින අතරතුර හදිසියේ ගෙට කඩා වැදුණු ඔවුන් තිදෙනා දැක තමන් ළඟට එන්න එපා යැයි කෑ ගැසූ බවද ඇයගේ පැමිණිල්ලේ සඳහන් වේ.

ඔවුන් බීමතින් සිටි අතර එක් අයෙක් දරුවා උදුරාගෙන කෑගැසුවොත් දරුවා පොළවේ ගසන බවට තර්ජනය කර මෙසේ තමා අපහරණයට ලක් කළේ යැයි ඇගේ පැමිණිල්ලේ සඳහන් වේ.

24 වැනිදා තමන් සැමියා හා මව සමඟ පොලිසියට පැමිණ පැමිණිලි කළ බවද එහි සඳහන් වේ.

මේ සම්බන්ධව ප්‍රදේශයෙන් පලාගොස් ඇති සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ පවත්වන බවද පූගොඩ පොලිසිය පවසයි.

මව්බිම

Leave a Reply