තරුණ පෙම් යුවළගේ විවාහයට හරස් වු තැලසීමියා පොරොන්දම

තරුණ පෙම් යුවළක් මංගල උත්සවය ගැනීමට පෙර පොරොන්දම් බැලීමෙන් ඒවා නිසි ලෙසට ගැළපුණු පසුව තැලසීමියාවේ පොරොන්දම් බැලීමට කුරුණෑගල රෝහලට ගිය අවස්ථාවේදී තැලසීමියා රෝග වාහකයන් බවට කරුණු හෙළිවීමෙන් පසුව දෙදෙනාම වසර ගණනාවක පෙම් සබඳතාවට සමුදී දෙපසට වූ පුවතක් යාපහු රාජධානිය අවට ගමකින් අසන්නට ලැබිණි.

පෙම්වතිය උසස් පෙළ අධ්‍යාපනය නිමවා ඉහළ තනතුරක සේවය කරන තැනැත්තියකි. පෙම්වතා ප්‍රසිද්ධියක් උසුලන තනතුරක නියැළෙන අයෙකි. දෙදෙනා ඇති කරගත් පෙම් සබඳතාවට වසර කිහිපයක් ගතවී ඇත. පසුව ඔවුන් ඒ බව පවුලේ ඥාතීන් දැනුවත් කර තිබේ. ඉන් අනතුරුව දෙදෙනාම ඔවුන්ගේ පවුල්වල දුක සැප වෙනුවෙන් පැවැති උත්සව අවස්ථාවලටද සහභාගි වූහ.

එලෙස දෙපාර්ශ්වයේ ආශීර්වාදයෙන් කල් ගත කළ ඔවුන්ගේ මංගල උත්සවයට දින නියම විණි. පොරොන්දම් බැලීමේ කාර්යයද සිදු කෙරිණි. ඒවාද නිසි ලෙසට ගැළපී ඇත. ඒ අවස්ථාවේදී යහළුවකු වයඹ පළාතේ තැලසීමියා අවදානමක් තිබෙන බව ඔවුන්ට සිහිගන්වා තිබේ. ඒ දෙස අවධානය යොමු කරන ලෙසට සගයා කළ ඉල්ලීමකට අනුව ඔවුහු කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ තැලසීමියා ඒකකය කරා පිය නැඟූහ.

එහිදී රුධිර සාම්පල් පරීක්‍ෂාව සඳහා බාරදුන් දෙදෙනාට පසුව එහි වාර්තාව ලැබී ඇත. දෙදෙනාට කිසිදු බාධාවකින් තොරව දරුවන් නොමැතිව යුගදිවි ගත කිරීමට හැකිය. එහෙත් අනාගතයේදී දරුවන් බිහි කරන්නේ නම් දෙදෙනාම ප්‍රබල තැලසීමියා වාහකයන් බැවින් දරුවන් බිහිකිරීමට යෑමේදී මවගේ ජීවිතයට පවා අවදානමක් සිදුවිය හැකි බවටත් යම් ලෙසකින් දරුවකු බිහි වන්නේ නම් ඒ දරුවන් ප්‍රබල තැලසීමියා රෝගීන් ලෙසට සමාජයේ ජීවත්වන බවටත් වාර්තාවේ සඳහන් බව ප්‍රකාශයට පත් කරමින් වෛද්‍යවරුන් යුවළට කරුණු වටහා දී තිබේ.

පොරොන්දම් කොතෙක් ගැළපුණත් මෙවැනි විවාහයකින් ගැබිනි මවට හා දරුවන්ට අත්වන ඉරණම සිහිබුද්ධියෙන් අවබෝධ කරගත් දෙදෙනා එතැනට යෑමට මුලින්ම උපදෙස් දුන් සගයාටත්, එහිදී කරුණු වටහා දුන් වෛද්‍යවරුන්ටත් ස්තූතිය පුදා පෙම් සබඳතාවට කැමැත්තෙන්ම සමුදුන් බව පවුලේ ඥාතීහු පැවැසූහ.

මව්බිම

Leave a Reply