ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයෙන් 2022 වසරේ මිනී මැරුම් 74ක්

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් ඉකුත් වසරේදී (2022) මෙරට තුළ මිනීමැරුම් 74ක් සිදුව තිබේ. දිවයින පුරා සිදුවන මෙවැනි අපරාධවලට හේතුව කවරේද යන්න පිළිබඳව සොයා බලා ඒ පිළිබඳව සවිස්තර තොරතුරු ඇතුළත් වාර්ෂික වාර්තාවක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට අධිකරණ අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

මෙවැනි අපරාධයන්හිදී වින්දිතයන් බවට පත්වන පුද්ගලයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කිරීමටද අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

අපරාධයක වින්දිතයන්ට හා සාක්ෂිකරුවන්ට කිසියම් සහනයක් අවශ්‍ය වන අවස්ථාවන්හිදී ඒ පිළිබඳව දැනුම්දීම සඳහා 1985 හදිසි දුරකථන අංකයක් හඳුන්වාදී ඇති අතර ඔවුන්ට රැකවරණය සැලසීම සඳහා රැකවරණ මධ්‍යස්ථානයක් පිහිටුවීමටද කටයුතු යොදා ඇත.

කිසියම් අපරාධයක් සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා පැමිණීමට නොහැකි විදේශ රටක සිටින වින්දිතයකුට හා සාක්ෂිකරුවකුට එම රටවල්වල සිට සාක්ෂි ලබාදීමේ හැකියාවක් තිබෙන බව අපරාධයක වින්දිතයන් හා කිසියම් අපරාධයක් සම්බන්ධයෙන් ආරක්ෂා කිරීම පිළිබඳව අධිකාරියේ සභාපති ජනාධිපති නීතිඥ සුහද ගම්ලත් පැවැසීය.

වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම පිළිබඳව ව්‍යුහාත්මක වෙනස්කම් හා ඉදිරි සැලසුම් පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් අධිකරණ අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ජනාධිපති නීතිඥවරයා කළ කරුණු දැක්වීමකදී මේ බව අනාවරණය කෙරිණි.

Leave a Reply