ගුරුකමකට මළ සිරුරක හිස ගොඩගත් තරුණයන් තිදෙනකු අල්ලයි

කාන්තා මළ සිරුරක හිස ගොඩගෙන ඡායාරූප ගතකර සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ බෙදාහැර ඇති බවට ලැබුණ පැමිණිල්ලකට අනුව සැකපිට තිදෙනකු අත්අඩංගුවට ගත් බව මහව මූලස්ථාන පොලිසිය පවසයි.

සැකකරුවන් වයස අවුරුදු 18, 19, 20 යන වයස්වල පසුවන උදාගම පදිංචි තිදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

උදාගම පොදු සුසාන භූමියේ මිහිදන් කර තිබූ කාන්තා මළ සිරුරක හිස මෙලෙස ගොඩගෙන තිබේ. මැණික්හින්න ප්‍රදේශයේ පුද්ගලයකුගේ අවශ්‍යතාවය සඳහා ගුරුකමකට ගැනීමට මිනී ඔළුවක් ඉල්ලා ඇති අතර ඒ අනුව මිනී ඔළුව ගලවා ගත් බව සැකකරුවන් පොලිසියට පවසා තිබේ.

මීට මාස තුනකට පමණ පෙර මිය ගිය වයස අවුරුදු 105 ක පමණ කාන්තාවකගේ සිරුරේ හිස මෙසේ ගොඩගෙන තිබේ.

මිනී වළෙන් ගොඩගත් හිස සමග සැකකරුවන් ඡායාරූප ගෙන එම ඡායාරූප සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු කරගෙන ඇති බවත්  එම ඡායාරූප අනුව  නිවැසියන්ට ලැබුණු තොරතුරක් මත සොයා බැලීමෙන් අනතුරුව මියගිය තම ඥාතිවරයාගේ බව සැකකර කරුණු අනාවරණය කර ගැනීමෙන් අනතුරුව පොලීසියට කළ පැමිණිල්ලකට අනුව සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් මහව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

Leave a Reply