ගිලෙන්න ගිය ජීවිත 38 ක් නාවික හමුදාව බේරාගනී

යාපනය ඩෙල්ෆ්ට් ජැටියේ පිවිසුම් දොරටුව අසලදී අනතුරට පත් ට්‍රෝලර් යාත්‍රාවක සිටි පුද්ගලයන් 38 ක් නිරුපද්‍රිතව බේරා ගැනීමට සහ එහි ප්‍රවාහනය කරමින් තිබූ ගොඩනැගිලි ද්‍රව්‍ය තොගයක් මුහුදුබත් වීමට නොදී බේරාගැනීමටත් අද (07) සමත් වූ බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

නාවික හමුදාව වහාම ක්‍රියාත්මක වී කළ මෙම මෙහෙයුම හේතුවෙන් සිදූවීමට තිබූ විශාල ජීවිත හා දේපල හානියක් වළක්වා ගැනීමට හැකි වූ බව නාවික හමුදාව පවසයි.

‘කාලි අම්බාල් 2’ නැමැති මෙම යාත්‍රාව ඩෙල්ෆ්ට් දූපතේ වරාය පිවිසුම් දොරටුවෙහි අනතුරට පත්ව ගිලි ගියේ නම්, ඩෙල්ෆ්ට් දූපත වෙත කරන සියළුම ගමනාගමන කටයුතු ඇණහිටීමටත් එහි පරිපාලනයට විශාල බලපෑමක් සිදුවීමටත් ඉඩතිබූ බවත් නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය.

යාපනය, පුණ්ගුඩුතිව් දූපතේ පිහිටි කුරිකඩ්ඩුවාන් ජැටියේ සිට ඩෙල්ෆ්ට් දූපත දක්වා පුද්ගලයන් 38 ක් සමඟ ගොඩනැගිලි ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රෝලර් යාත්‍රාවක් ඩෙල්ෆ්ට් දූපතේ වරාය පිවිසුම් දොරටුව අසලදී මුහුදේ පැවති බාදිය තත්වය හමුවේ යාත්‍රාව මුහුදු පත්ලේ ගැටී යාත්‍රාව සිදුරු වීම හේතුවෙන් යාත්‍රාව තුළට ජලය කාන්දු වී යාත්‍රාව අනතුරකට පත්වී ඇති බවට නාවික හමුදාව වෙත තොරතුරක් ලැබීමෙන් පසුව මෙම මෙහෙයුම දියත් කළ බව නාවික හමුදාව පවසයි.

එම දැනුම් දීමට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව ඔවුන් සතු වෙරළබඩ මුර යාත්‍රා සහ කුඩා යාත්‍රා යොදා ගනිමින් අනතුරට පත් යාත්‍රාව සහ එහි සිටි පුද්ගලයින් නිරුපද්‍රිතව බේරා ගැනීමට කටයුතු කළ බව ද නාවික හමුදාව වැඩි දුරටත් පැවසීය.

Leave a Reply