ගාසා තීරයේ ළමා අරමුදලට ගාල්ලෙන් ආධාර

ගාසා තීරයේ ගැටමුවලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පිහිටුවනු ලැබූ “ගාසා හී ළමා අරමුදල (Children of Gaza Fund)” වෙනුවෙන් අරමුදල් එකතු කිරීමේ ගාල්ල දිස්ත්‍රික්කයේ දැනුවත් කිරීමේ වැඩසටහනක් හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පස්වරුවේ ගාල්ලේ දී පැවැත්වින.

ගාල්ලේ ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසක් මෙම වැඩසටහනට එක්ව සිටි අතර දැනුවත් කිරීමේ වැඩසටහන ආරම්භ වූ අවස්ථාවේම රුපියල් මිලියන 3ක පමණ මූල්‍යාධාර එකතු විය.

ව්‍යාපාරිකයන් ඇතුළු පැමිණ සිටි පිරිසක් විසින් මෙම මූල්‍යාධාර ලබා දෙන ලද අතර එහිදී ජාති ආගම් බේදයෙන් තොරව සහභාගී වී සිටි පිරිස සිය දායකත්වය ලබාදිම සිදුවිය.

මෙහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා විසින් මේ මස සිය පාර්ලිමේන්තු වැටුප මෙම අරමුදලට පරිත්‍යාග කිරිම සදහා ගාල්ල හිටපු නියෝජ්‍ය නගරාධිපති ෆවුසුල් නියාස් මහතා වෙත බර දුන්නේය.

මෙවර රමලාන් උපවාස මාසයේ මුස්ලිම් ප්‍රජාවට මේ සඳහා සිය උපරිම දායකත්වය ලබා දෙන ලෙස එහිදී මන්ත්‍රීවරයා ඉල්ලීමක් කළේය.

එමෙන්ම මේ සඳහා අනෙකුත් ජනතාවගේ දායකත්වයන් ද අපේක්ෂා කරන බවත් විපතට පත් දරුවන් සඳහා සහන සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය විසින් ඇමරිකානු ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් එක්සත් ජාතීන්ගේ නිල නියෝජිතායතන හරහා ලබාදීමට නියමිත බවද ඒ මහතා පැවසීය.

මේ අතර මෙම අරමුදල සඳහා දායක වීමට කැමති පරිත්‍යාගශීලීන් වේ නම්, එම පරිත්‍යාගයන් අප්‍රේල් මස 11 වනදාට පෙර ලංකා බැංකුවේ (7010), තැප්‍රොබේන් ශාඛාවේ (747) පිහිටි ගිණුම් අංක 7040016 වෙත තැන්පත් කර ඊට අදාළ ලදුපත 077-9730396 වෙත Whatsapp හරහා යොමු කරන ලෙස ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කළේය.

Leave a Reply