ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය අම්බලන්ගොඩ විවෘත කෙරේ

පසුගිය ජුනි මස පළවැනිදා සිට දෙසැම්බර් 14 දක්වා දකුණු පළාතේ මනුෂ්‍ය ඝාතන, වෙඩි තබා ඝාතනය කිරිම් සිද්ධීන් 19ක් වාර්තා වී ඇති බව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම අදහස් පළ කළේ ගාලු දිසා අපරාධ කොට්ඨාසය අම්බලන්ගොඩ ප්‍රදේශයේ අද (14) විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

මෙම අපරාධ සිදුවීම් වලින් මනුෂ්‍ය ඝාතන හා වෙඩි තබා ඝාතනය කිරිමේ සිදුවිම් 16ක් පමණ වාර්තා වන බවද ඒ මහතා පවසයි.

ඉන් සිදුවීම් 11 ක් ගාල්ල දිස්ත්‍රික්කයේ අහුන්ගල්ල, අම්බලන්ගොඩ, බලපිටිය, හික්කඩුව සහ ඌරගහ යන ප්‍රදේශවලින් පසුගිය මාස හයේ වාර්තා වන බවත් ඒ මහතා පවසයි.

දකුණු පළාතේ සිටින ජනතාවගෙන් සියයට 99 නීතියට ගරු කරන සාමකාමී පුරවැසියන් බවත් ඉන් සියයට එකක් හෝ ඊට අඩු ප්‍රමාණයක් විවිධ අපරාධ කර බේරිමට හැකි බව සිතන බවද ඒ මහතා පැවසීය.

ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල සහ ඇල්පිටිය පොලිස් කොට්ඨාස වල සිදුවන අපරාධ විමර්ශනය කිරීමට සහ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව මෙම විශේෂ අපරාධ කොට්ඨාසය පිහිටවු බව ඒ මහතා පැවසීය.

විශේෂයෙන්ම පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් අන්තර්ජාලය හා විවිධාකාරයෙන් සිදු වන අයිස් ඇතුළු කෘතිම මත්ද්‍රව්‍ය ප්‍රචලිත කරන පුද්ගලයන් අත් අඩංගුවට ගැනිමට නියමිත බවත් ඒ මහතා පැවසීය.

Leave a Reply