ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට මී උණ පිළිබඳව අනතුරු ඇඟවීමක්

ගාල්ල දිස්ත්‍රික්කයේ මී උණ රෝගයේ සිඝ්‍ර  වර්ධනයක් දක්නට ලැබෙන බව ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග වේදඥ එරන්ද හෙට්ටිආරච්චි මහතා ගාල්ල දිස්ත්‍රික් රෝග නිවාරණ මෙහෙයුම් කමිටුවේ දී පැවසීය

ගාල්ල දිස්ත්‍රික්කයේ මී උණ රෝගය වාර්තාවීම  2022 වර්ෂයේ ඔක්තෝබර් මාසය වන විට  රෝගීන් වාර්තා වීම් 378 ක් වන අතර මරණ 11ක් තහවුරු කරගෙන ඇත .

ඒ අනුව සතුන් මගින් බෝවන රෝගයක් වන මී උණ හෙවත් ලෙප්ටොස්පයිරෝසිස් රෝගය ඉතාමත් ශීඝ්‍රව ගාල්ල දිස්ත්‍රික්කයේ ව්‍යාප්ත වෙමින් ජන ජීවිත බිලිගනිමින් කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරයි.

වෙනත් රෝගයන්ට සාපේක්ෂව මී උණ රෝගයෙන් මරණයට පත් වීමේ අවදානම නිසා  මරණ 11ක් ද වාර්තා වී ඇති බැවින් මෙම රෝගය පිළිබඳ ජනතා අවධානය දැඩිව යොමු විය යුතු කාලයක් එළඹ තිබෙන බව වෛද්‍යවරයා පැවසීය.

වර්තමානයේ හඳුනා ගෙන ඇති විශේෂ තත්ත්වය වන්නේ ගොවීන්ටපමණක් නොව වෙනත් කසළ ආශ්‍රිත රැකියා කරන කම්කරුවන්, ළමුන් සෙල්ලම් කරන තැන් ආදී වෙනත් හේතු  මතද මී උණ රෝගය ව්‍යාප්ත වන බවත්
එම මේ පිළිබඳව දැනුවත් වීම අත්‍යවශ්‍ය බවද ඔහු පවසයි.

සෞඛ්‍ය අංශ මඟින් මේ පිළිබඳව  නිරන්තරයෙන් දැනුවත් කරන අතර සුදුසු  ප්‍රතිජීවක ලබා ගැනිම මගින් රෝගය හා ආසාදනයට එරෙහිව යම් ආරක්ෂාවක් ලැබෙනු ඇති බවත් ඔහු පැවසීය

මෙම රෝගය මර්දනය කිරීමට පරිසරය නිරන්තරයෙන් පිරිසිදුව තබා ගත යුතුය  නිවෙස්වල කැළි කසළ මනාව කළමණාකරණය කළ යුතු බවත් මීයන්ගේ මළ සමඟ නිරන්තරයෙන් මුත්‍රා පිටවීම නිසා නිවස තුළ බැක්ටීරියාව රඳා පැවතීමට ඇති ඉඩකඩ වැඩිය. එ නිසා මිනිස් වාසයන් තුළ මියන් වැනි සතුන් ගැවසීම හානිකර වේ.

ගෙවතු ක්‍රිඩා පිටි ආදී ළමුන් ක්‍රිඩා කරන ස්ථාන ආසන්නයේ සතුන් ගැවසීම වැළැක්වීමට සුදුසු පියවරයන් ගත යුතු අතර විශේෂයෙන් කෘෂිකාර්මික කටයුතුවල නිරත වීමට ප්‍රථම   ආරක්ෂිත ඇඳූම් ඇදීම, දණහිස දක්වා ආවරණය වන පාවහන් පැළදීම අත්වැසුම් ආදිය භාවිතය හා ජලය ඇතුලු නොවන ආකාරයට තුවාල ආවරණය කර ගැනීම ආදි කටයුතු සිදු කළ යුතුය

ගාල්ල දිස්ත්‍රික්කයේ සෞඛය අංශ මෙය මර්දනය සදහා පෙළ ගැසෙන විට මහජනතාව වශයෙන් ඒ උපදෙස් පිළිපැදීම සහ රෝගය පිළිබඳ දැනුවත් වීම මෙය මර්දනය සදහා ඉවහල් වන බව ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

මොනවාද මේ මී උණ

මී උණ රෝගය බැක්ටීරියාවක් මගින් සෑදෙන රෝගයකි. මීයන්, ඌරු මීයන්, මීගවයන්, ගවයන් වැනි සතුන්ට මෙම බැක්ටීරියා ආසාදනය ඇති විය හැකි අතර, එම සතුන්ගේ වකුගඩු ආශ්‍රිතව ජීවත් වන එම බැක්ටීරියාව මූත්‍රා සමග පරිසරයට නිදහස් වෙයි. කුඹුරු, දියකඩිති, දිය අගල් සහ ඔිවිටි වැනි ජලය රැදෙන ස්ථානවල මෙම බැක්ටීරියාව සජීවීව බහුල වශයෙන් රැදී තිබේ. ජලයේ රැදී සිටින බැක්ටීරියාව ශරීරයේ කැපුම්, සිරීම් තුවාල සහ ඇස්, කට වැනි සියුම් ශ්ලේෂ්මල පටල ඇති ස්ථානවල ගැටීමෙන් පුද්ගලයින්ගේ ශරීර තුලට ඇතුළු වෙයි.

රෝග ලක්ෂණ

මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ වනුයේ හදිසියේ ඇතිවන තද උණ හා මස්පිඩුවල විශේෂයෙන්ම බත්කෙණ්ඩ හා කොන්දේ තදබල වේදනාවයි. මෙයට අමතරව ඇස් රතුපැහැ වීම, වමනය, හිසරදය, මූත්‍රා තද පැහැයක් ගැනීම හා මුත්‍රා පිටවිම අඩුවීම වැනි රෝග ලක්ෂණ ද විය හැක.

ජලය සමග කටයුතු කරන අය පරිස්සමෙන්

කුඹුරු වගාවන් හා ඒ ආශ්‍රිත වෙනත් වගාවන් සිදු කරන ගොවීන් මෙම රෝගය ගැන දැනුවත් වන ලෙසත්, මීයන් බෝවීම පාලනය කිරිමට යොදාගන්නා පාරම්පරික හා නවීන ක්‍රම මගින් කුඹුරු ආශ්‍රිත මී ගහනය පාලනය කර ගැනිමට කටයුතු කරන ලෙසත්, රෝගකාරක බැක්ටීරියාවරැදී තිබීමට ඉඩ ඇති ජලය එක් රැස්වන ස්ථාන අවම කිරිමටත්, බැක්ටීරියාව ශරීර ගත විය හැකි සීරීම්, කැපුම් තුවාල, වතුරට ඔරොත්තු දෙන සැරහුවමකින් ආවරණය කිරීමටත් වගබලා ගැනීම මගින් රෝගය ඇතිවීම වළක්වා ගත හැක.

එමෙන්ම මී උණ බහුලව පවතින ප්‍රදේශවල කුඹුරු ගොවිතැන්වල නිරත අවධානම් කාණ්ඩ සදහා ලබාදෙන ඖෂධය ලගම පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් ලබාගැනීමෙන් මෙම රෝගය ඇතිවීම වළක්වා ගත හැක. මෙම ඖෂධය ලබාගත යුත්තේ සතියකට එක්වරක් පමණි.

ප්‍රතිකාර

මෙම රෝගය වැළදුන විට රෝගයේ මුල් අවධියේ දී ප්‍රතිජීවක ඖෂධ මගින් ඉතා සාර්ථකව සුව කළ හැක. එබැවින් ඉහත ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සදහා රජයේ රෝහලකට හෝ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු වෙත යොමුවීමටත්, ඔබ ඉහත ස්ථාන ආශ්‍රිතව ක්‍රියාකාරකම්වල යෙදුන බව වෛද්‍යවරයාට දැන්වීමටත් වගබලා ගත යුතුය. නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම ප්‍රමාදවීමෙන් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට බලපෑම් ඇති වී අසාධ්‍ය තත්ත්වයට හෝ මරණයට පත්විය හැක.

ඔබ පුරන් කුඹුරක ක්‍රියාකාරකම්වල යෙදෙන්නේ නම් මෙම රෝගය වැළදීමට වැඩි අවදානමක් ඇති අතර මේ සදහා ඔබට අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් ලබාගැනීමට ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හෝ මහජන සෞඛ්‍ය පරික්ෂක මහතා හමුවි වැඩි විස්තර ලබාගන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *