ගාල්ල දිස්ත්‍රික්කයට ගංවතුර අවදානමක්

අද (14) පෙරවරුවේ සිට ගිං ගඟ ද්‍රෝනියේ ඉහළ ප්‍රදේශයේ සහ මධ්‍යම ධාරා ඇතැම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වැසි තත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ගිං ගඟ ආශ්‍රිත පහත් බිම් වල සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ඉදිරි පැය තුනේ සිට පැය 24ක කාලය තුළ ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, නියාගම, නෙළුව, තවලම සහ නාගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල ගිං ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.

මේ තත්ත්වය සම්බන්ධයෙන් එම ප්‍රදේශවල සිටින මහජනතාව සැලකිලිමත්ව කටයුතු කරන ලෙසත් ගංගා ආශ්‍රිත ප්‍රදේශ හරහා වැටී ඇති අතුරු මාර්ගවල ගමන් කිරීමේදී රියදුරන්ට සැලකිලිමත් වන ලෙසද එම දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කළේය.

Leave a Reply