ගම්පොළ තරුණියක් අතුරුදහන්

සේවා ස්ථානයට යාම සඳහා ඉකුත් ඉරිදා උදෑසන නිවසින් පිටත්වූ ගම්පොළ ප්‍රදේශයේ ඔසුසලක සේවය කරන තරුණියක් දින 5ක සිට අතුරුදන්වී සිටී

මෙලෙස අතුරුදහන්ව ඇත්තේ ගම්පොළ වැලිගල්ල ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි ෆාතිමා මුනව්වරා නමැති 22 හැවිරිදි තරුණියකි.

බස් රථයක් ලබාගැනීම සඳහා නිවසේ සිට කිලෝමීටර 2ක් පමණ පාගමනින් වැලිගල්ල දක්වා යායුතු අතර එම මාර්ගයේ බොහෝ ස්ථාන පාළු ස්වභාවයක් ගනී.

කෙසේවෙතත්, නිවසේ සිට මීටර් 100ක් පමණ ඉදිරියට යාමේදී හමුවන ඇල්පිටිය මුස්ලිම් පල්ලියේ CCTV කැමරාවෙහි ෆාතිමා මාර්ගයේ ගමන් කරන අයුරු දක්නට තිබුණි. 

ඉන් තවත් මීටර් 50ක් පමණ ඉදිරියට යාමේදී හමුවන CCTV කැමරාවේ ෆාතිමා මාර්ගයේ ගමන් කරන දර්ශනයක් සටහන්වී නොමැති අතර කිසිඳු ප්‍රදේශවාසියෙකු ද ඇයව දැක නොමැත.

ඒ අනුව ගම්පොළ පොලීසිය සහ ප්‍රදේශවාසීන් අද ගම්පොළ වැලිගල්ල මහවැලි ගඟ ඉවුර හා ඒ අසල කැළෑබඳ ප්‍රදේශවල සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබින.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොළ පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.