කොළඹ යාචක කාන්තාවකගෙන් උදුරාගත් දරුවා පුත්තලමෙන් සොයා ගැනේ

බම්බලපිටිය ප්‍රදේශයේ දී යාචක කාන්තාවකගෙන් පැහැරගත් ගත් බව කියන මාස එකහමාරක් වයසැති බිළිඳා පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ දී සොයාගෙන තිබෙන බව පොලිසිය පවසයි.

දරුවා රැගෙන ගිය බව කියන 53 හැවිරිදි කාන්තාවක් මෙන්ම දරුවාගේ මව ඇතුළු 06 දෙනෙකු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ යාචක කාන්තාව බම්බලපිටිය පොලිසියට සිදුකළ පැමිණිල්ලක් මත මේ පිළිබඳ විමර්ශන ආරම්භ කළ අතර එහිදී හෙළිවුණේ දරුවන් නොමැති කාන්තාවක් විසින් එම දරුවා යාචක මවගෙන් ලබාගැනීමට රුපියල් ලක්ෂයක මුදලක් ද ලබාදී ඇති බවයි.

වනාතවිල්ලුවේ පදිංචි කාන්තාව හදාවඩා ගැනීම සඳහා දරුවෙකු සොයන අතරතුර වීදියේ ජීවත් වූ මෙම යාචක කාන්තාවගේ මාස එකහාමාරක් වයසැති බිළිදා හමුවී තිබේ.

මුල් අවස්ථාවේ මව ද දරුවා එම කාන්තාවට ලබාදීමට එකඟවී ඇති අතර මුදල් ලබාගත් පසු දරුවා ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.

ඒ අනුව අදාළ කාන්තාව ඇදුම් රැගෙනදීම සඳහා යාචක කාන්තාව ද සමඟ දරුවා රැගෙන ගොස් ඇති අතර කොම්පඤ්ඤවිදිය ප්‍රදේශයේ දී දරුවා යළි ඉල්ලා ඇතත් මව ඊට විරෝධය පළකර තිබේ.

පසුව දරුවා වඩා ගැනීමට අවශ්‍ය බව සඳහන් කර දරුවා ලබාගෙන මව තල්ලුකර දමා ඇය ත්‍රිරෝද රථයකින් පළාගොස් තිබේ.

වනාතවිල්ලුව ප්‍රදේශයේ සිටිය දී අදාළ කාන්තාව සමඟ පොලිස් භාරයට ගත් බිළිඳා මේ වන විට වෛද්‍ය පරීක්ෂණයක් සඳහා බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත යොමුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේය.

දරුවාගේ මව සහ පියා දැඩිව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බව ද පොලිසිය සඳහන් කර තිබේ.

යාචක කාන්තාවකගේ මාස එකහමාරක් වයස දරුවා පැහරගෙන

Leave a Reply