කොටින්ගෙන් ගම බේරා දෙන්න මිනිපේ ජනපද වැසියන්ගෙන් ඉල්ලීමක්

මිනිස් ජීවිතයකට හානියක් වීමට පෙර තම ප්‍රදේශයේ සැරිසරන කොටින්ගේ ආක්‍රමණවලට වහා පිළියමක් ලබා දෙන්නැයි මිනිපේ ගම්වාසීහු අදාළ අංශ වෙතින් ඉල්ලා සිටිති.

මිනිපේ ගොවි ජනපදයේ හසලක, ගුරුළුපොත, හසලක නගරය සහ පල්ලේවත්ත යන ග්‍රාම නිලධාරි වසම්වල ජනතාව මෙම කොටි ආක්‍රමණ හමුවේ පීඩා විඳිති.

හොඳින් වැඩුණු කොටි සිවු දෙනකු කණ්ඩායම් දෙකක් වශයෙන් ගම්මානවල සැරිසරන බවත් මෙම සතුන් ගම්මානවල ලඳු කැලෑ කොටස්වල දිවා කාලයේ රැඳී සිට සවස 6.00න් පසුව ගම්මාන කරා පැමිණ ගෙවතුවල නිදැල්ලේ සිටින කුඩා ගව පැටවුන් සහ නිවාසවල සුරතලයට ඇති කරන එළිමහනේ සිටින සුනඛයන් ඩැහැගෙන යන බවත් ගම්වාසීහු පවසයි.

නිවෙස අසලට විත් බල්ලන් ඩැහැගෙන යෑමට සැරසෙන අවස්ථාවල එම නිවැසියන් බල්ලා ග්‍රහණයෙන් බේරාගැනීමට කොටියා පලවා හැරීමට උත්සාහ කරන අවස්ථාවලදී නිවැසියා කරා කොටියා කඩා පැනීමට සූදානම් වන බවද මොවුන් මිනිසුන්ට බියක් නොදක්වන බවද ඔවුහු පවසයි.

රාත්‍රි කාලයේ ගම්වැදී ජනජීවිතයට අහිතකර අන්දමින් සැරිසරන කොටින් නිසා මතු සඳහන් ගම්මානවල වැසියන් හදිසි අවස්ථාවකදීවත්  රාත්‍රියේ හෝ අලුයම් කාලයේ තනියම නිවෙසින් එළියට බැසීමට බියක් දක්වන බවද රාත්‍රි කාලයේ පැවැත්වෙන උපකාරක පන්තිවලට යන එන පාසල් දරුවන් නිවෙස් කරා රැගෙන ඒමට වැඩිහිටියකු එම උපකාරක පන්ති කරා යෑමට අද සිදුවී ඇති බවද පවසයි.

මේ වන විටත් බල්ලන් රැසක් කොටින්ගේ ගොදුරු බවට පත්වී ඇති බවද මිනිස් ජීවිතයකට හානියක් වීමට පෙර මේ කොටින් ප්‍රදේශයෙන් ඉවත් කර වෙනත් ප්‍රදේශයකට රැගෙන ගොස් දැමීමට පියවර ගන්නා ලෙසද ගම්වාසීහු අදාළ අංශ වෙතින් ඉල්ලීමක් කරති.

මව්බිම

Leave a Reply