කතරගම මැණික් ගඟ කිඹුලන් ආක්‍රමණය කරලා

කතරගම මැණික් ගඟේ අනතුරුදායක ලෙස සැරිසරන කිඹුලන්ගේ වැඩිවීමක් දැකිය හැකි බව ප්‍රදේශවාසීන් පවසයි.

මැණික් ගඟේ දිය නෑමට බැතිමතුන් බසින සෑම තැනකම මෙම දැවැන්ත කිඹුලන් ගැවසෙමින් සිටින බවද ප්‍රදේශවාසීන් පවසයි

කතරගම අංක 02 පාලම අසලදී මාස 02ක් තුළ පුද්ගලයන් 04 දෙනකු මෙම කිඹුලන්ගේ සපා කෑම මත බරපතළ තුවාල සිදුවී ඇත. මෙයට අමතරව පසුගිය නෙවැම්බර් මාසයේදී සෙල්ල කතරගම කාන්තාවක් කිඹුලකුගේ ගොඳුරක් බවට පත් ව තිබේ.

මේ වන විට කතරගම අංක 01, 02 හා 03 යන පාලම් අසල අඩි 07ක් පමණ ප්‍රමාණයෙන් හොඳින් වැඩුණු කිඹුලන් සැරිසරමින් සිටින බව ප්‍රදේශවාසීන් පවසයි.

කතරගම ඇසළ මංගල්‍යය වෙනුවෙන් සෑම වසරකදීම වනජීවි නිලධාරින් විසින් බැතිමතුන් ගැවසෙන ස්ථාන තුළ සිටින කිඹුලන් ඇල්ලීම සිදුකළත් මේ වනවිට වසර 07ක් පමණ වන කාලයක් පුරා මෙම කිඹුලන් ඇල්ලීම සිදුනොවීම මත මේ අයුරින් කිඹුලන් වැඩිවීමක් සිදුව තිබෙන බව ඔවුන් පවසයි.

එළඹෙන වෙසක් උත්සවය, පොසොන් උත්සවය සහ කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය එළඹෙන අතර මෙම ජාතික උත්සව සැමරීම වෙනුවෙන් විශාල බැතිමතුන් සංඛ්‍යාවක් පැමිණෙන බැවින් බැතිමතුන්ට අනතුරුදායක මෙම දැවැන්ත කිඹුලන් අල්ලා වෙනත් ප්‍රදේශයක් වෙත හෝ යාල ජාතික වන උද්‍යානය කරා හෝ රැගෙන යන ලෙස කතරගම ප්‍රදේශවාසීන් වගකිවයුතු සෑම අංශයකින්ම ඉල්ලා සිටිති

Leave a Reply