උසස් පෙළ විභාගය හෙට සිට

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2200 දී අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2022 විභාගය හෙට (23) ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එය පෙබරවාරි 17 වනදා පැවත්විමට නියමිතය.

මෙවර උසස් පෙළ විභාගයට පාසල් අපෙක්ෂයක් 2,78,196 දෙනකු සහ පෞද්ගලික  අපෙක්ෂකයන් 53513 දෙනකු වශයෙන් 3,31,709 දෙනකු පෙනී සිටින බව විභාග කොමසිරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළේය

උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් සඳහා නියමිත කාලයට අමතරව තවත් විනාඩි 10ක කාලයක් ලබාදීමට තීරණය කර තිබේ. ඒ අනුව රචනා ප්‍රශ්න පත්‍රය ලබා දී නියමිත පැය 3ක කාලය අවසන් වු පසුව එම අමතර විනාඩි 10ක කාලය සිසුන්ට ලබාදීමට තීරණය කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළේය.

ඔහු මේ බව පැසුවේ විභාග දෙපාර්තමේන්තුවේ අද (22) පැවති විශේෂ මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමිනි. 

මීට අමතරව විභාගයට පෙනී සිටින සිසුන් සඳහා ලංකා ගමනාගමන මණ්ඩලය සහ දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ ප්‍රවාහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

මේ අතර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ රාත්‍රී 07.00න් පසු විදුලි කප්පාදුව සිදුනොකිරීමට තීරණය කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ විභාග දෙපාර්තමේන්තුව සිදුකළ ඉල්ලීමකට අනුව විදුලි බල මණ්ඩලයේ ද අවශ්‍යතා මත මෙම තීරණය ගත් බවය.

උසස් පෙළ විභාගයේ ආරක්ෂක රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 1,625 දෙනෙකු යෙදවීමට කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

විභාග මධ්‍යස්ථාන, සම්බන්ධිකරණ මධ්‍යස්ථාන, ප්‍රාදේශීය හා මධ්‍යම එකතු කිරීමේ මධ්‍යස්ථාන, ප්‍රශ්න පත්‍ර ඇගයීමේ මධ්‍යස්ථාන හා වෙනත් රහස්‍ය ලේඛන ප්‍රවාහන කටයුතුවල ආරක්ෂාව සඳහා මෙම පොලිස් නිලධාරීන් යොදවා ඇත.

මීට අමතරව විභාග පැවැත්වෙන දිනයන්හි දී දිවයිනේ පිහිටි පොලිස් ස්ථාන මගින් ක්‍රියාත්මක වන ජංගම සංචාර, යතුරුපැදි සංචාර, පාමුර සංචාර ඇතුළු විවිධ සංචාරයන් මගින් විභාග මධ්‍යස්ථාන කෙරෙහි දැඩි අවධානයක් යොමුකර අවශ්‍ය ආරක්ෂාව සැපයීමට මේ වන විටත් උපදෙස් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයෙන් වැඩිදුරටත් දැනුම් දී තිබේ.

Leave a Reply