උණුසුම් කාලගුණය හමුවේ අනවශ්‍ය ලෙස දරුවන් එලියට යවන්න එපා – සෞඛ්‍ය අංශ

අධික උණුසුම් සහගත කාලගුණය හේතුවෙන් දරුවන් විවිධ ක්‍රියාකාරකම් සඳහා අනවශ්‍ය ආකාරයට පාසල් පරිශ්‍රයෙහි අධික ලෙස හිරු එළිය වැටෙන ස්ථානවලට රැගෙන යෑමෙන් වළකින්නැයි ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කරන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

ක්‍රීඩා හෝ වෙනත් අත්‍යවශ්‍යම ක්‍රියාකාරකම් ගස් යට වැනි සෙවණ සහිත ස්ථානවල කරන ලෙසට ඉල්ලීමක් කරන විශේෂඥ වෛද්‍යවරයා එළිපහලියට දරුවන් රැගෙන යන සෑම අවස්ථාවකම ජලය වැඩිපුර පානය කිරීමට උපදෙස් දෙන ලෙසද ඉල්ලා සිටියේය.

පාසල් පන්ති කාමරයෙන් එළියට යන සෑම අවස්ථාවකම තොප්පියක් පැළඳ සුදු පැහැති කපු ඇඳුමක් ඇඳගෙන ගමන් කිරීමෙන් තාප හානිය වැළැක්විය හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

මේ අතර අධික උණුසුම් සහගත කාලගුණ තත්ත්වය හේතුවෙන් විජලනය වැළැක්වීම සඳහා දරුවන්ට නිවෙසේ සිට වැඩි වශයෙන් වතුර ගෙන යෑමට උපදෙස් දෙන ලෙස මවුපියන්ගෙන් ඉල්ලීමක් කරන බව පැවසූ වෛද්‍යවරයා දරුවන් අධික හිරු රශ්මියට නිරාවරණයවීමෙන් දැඩිතාප කම්පන තත්වයන්ට ගොදුරුවී විවිධ බරපතළ ආබාධයන්ට පවා ගොදුරු විය හැකි බව  සඳහන් කළේය.

දරුවන්ට පාසල් පරිශ්‍රයෙන් පහසුවෙන් පානීය ජලය ලබා ගැනීමට මේ අවස්ථාවේ පහසුකම් සැලසීමද ඉතා වැදගත් බවත් පාසල් පන්ති කාමරවලට හොඳින් වාඅනව්තාශ්‍රය ලැබීමට සැලැස්වීමෙන් උණුසුම අඩු කරගත හැකි බවත් හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය

Leave a Reply