ඉකුත් මාස 4ට ඩෙංගු බවට සැක රෝගීන් 899ක් ගාල්ල දිස්ත්‍රික්කයෙන්

ගාල්ල දිස්ත්‍රික්කය තුළ මෙම වසරේ ජනවාරි මස සිට මේ දක්වා කාලය තුළ ඩෙංගු බවට සැක කරන රෝගීන් 899 දෙනකු වාර්තා වී ඇති අතර ඩෙංගු මරණයක්ද වාර්තා වී ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය එරංග හෙට්ටිආරච්චි මහතා පැවැසීය.

ඉකුත් වර්ෂයේ (2022) ගාල්ල දිස්ත්‍රික්කයේ මෙම කාලසීමාව තුළ ඩෙංගු බවට සැක කරන  රෝගීන් 1601 දෙනකු සහ ඩෙංගු මරණ 03ක් වාර්තා වී තිබූ බවද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා පැවැසීය.

ඉකුත් වර්ෂයට (2022) වඩා මෙම වර්ෂයේ (2023) මෙම කාලසීමාව තුළ ගාල්ල දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් වාර්තාවීමේ විශාල අඩුවීමක් දක්නට ඇති බවද හෙතෙම පැවැසීය.

මීට පෙර විශාල වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වූ ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ මෙන්ම අනෙකුත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවල ප්‍රජාවද සම්බන්ධ කරගනිමින් ඩෙංගු මර්දන වැඩසටහන පවත්වා මෙම තත්ත්වය නියාමනය කරගැනීමට හැකිවූ බවද වෛද්‍ය එරංග හෙට්ටිආරච්චි පැවැසීය.

බස්නාහිර පළාත තුළ ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වීමත් සමඟ එහි අවදානම ගාල්ල දිස්ත්‍රික්කයටද බලපෑ හැකි බවත් එයට මුහුණදීම සඳහා වැඩපිළිවෙළක් මේ වනවිට සකස්කොට ඇති බවද හෙතෙම සඳහන් කලේය

Leave a Reply